Thursday, May 25, 2017

ජපානයේ ගොවි නිවසක දවසක්

ගොවි නිවසේ තිබු සාම්ප්‍රදායික කිමෝනාව ඇඳි ජපන් ළඳකගේ චිත්‍රයක්

ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA -  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත් එහි වැඩි බරක් දරන්නෙ සාමාජිකයින් වන කෘෂිකාර්මික ප්‍රජාව. මුදලින් වගේම ශ්‍රමයෙන්. ඔවුන් පෞද්ගලිකව වගේම කණ්ඩායම් විදියටත් JA සමග සම්බන්ධයි. එයින් දැනුම, පුහුණුව ලබා දෙනව වගේම යම් ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත්, වෙළඳපල ගැටලු විසඳගන්නත් උදව් වෙනවා. අතරමැදියන් නැතිව තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ගොවියන්ට පහසුකම් සලසල තියෙනවා. එයින් 10% හෝ 20% ක මුදලක් JA එකට දෙනවා. ප්‍රදේශය සහ ගොවියන්ගේ ආදායම් මට්ටම අනුව මේ ගෙවන මුදල වෙනස් වෙන බව දකින්න පුළුවන්.

අපේ ගමින් ගමට තියෙන ගොවි සමිති, සමෘද්ධි සමිති විධිමත් කරනවනම්, එය සමස්ත දිවයින ආවරණය වෙන විදියට ක්‍රියාත්මක කරමින් එකම ආයතනයක් විදියට කටයුතු කරනවනම් ජපන් කෘෂි සහයෝගිතාවයෙන් ගන්න පුළුවන් පාඩම් එමටයි.

ජපානයේ ගොවි නිවසක දවසක්  

ගොවි නිවසක සංචාරක අත්දැකීමක් ලබන්නට අපිව සම්බන්ධීකරණය කළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කෘෂි විද්‍යා ආයතනයක් මඟින්. කණ්ඩායම් කිහිපයකට වෙන් කළ අපේ පිරිස රැගෙන යන්න ඒ ගොවි නිවෙස්වල හිමිකරුවන් පැමිණ සිටියා. මා ඇතුළු පිරිස කැඳවාගෙන ගියේ 70 විය ඉක්මවූ ගොවි මහත්මයෙක්. ඔහුගෙ කුඩා වෑන් රියෙන්. අපි හයිඑස් නමින් හඳුන්වන වෑන් රථයක් විය යුතුයි. බොහෝ දුර බැහැර පිටිසර ගම්මානයක්. හරිත කඳුවැටි, කෙත් යායවල්, ගොවිපළවල් පසුකරගෙන පැය දෙකක පමණ ගමනක් ගියා මතකයි.

ගොවි නිවසේ දෙන්න දෙමහල්ලෝ‍ෙ

එය ජපානයේ සාම්ප්‍රදායික ගොවි නිවසක්. නිවස වටේටම තියෙන්නෙ කුඹුරු. ( ජපානයේ නගරවල පවා හැම හිස් ඉඩකම බොහොම විධිමත්ව සකසපු කුඹුරු දකින්නට ලැබෙනවා. ) නිවසේ උන්නේ ඔහුත්, ඔහුගේ බිරිඳත් පමණයි. දරුවන් රැකී රක්ෂා සමඟ ගම අත්හැර ගිහින්. හරිම ආදරවන්ත යුවළක්. අපටත් ඔවුන් ඉතාම ළෙංගතුව සැලකුවා. දරුවන්ට බරක් නොවී අමතර ආදායමක් හොයාගන්න සංචාරක ලැගුම්පල උදව්වක් වෙලා තියෙන බවයි ඒ මව්පිය යුවළ පැවසුවේ.  

ගොවි නිවසේ විසිතුරු දසුන්

නිවසේ ඉදිරිපස පෙනුම 


ආගමික පිළිවෙත් සිදුකරන ස්ථානය

ඇතකුගේ සහ ඇත් පැටවකුගේ ලී කැටයමක්

ලී කැටයමක්... 

නිවසේම එක් කොටසක් ඒ සඳහා වෙන්කර තියෙන්නෙ. සුපිරි පහසුකම් නොවුණත් ජීවිතේට වෙනස් සුවයක්, සැනසුමක් ගේන අපූරු නිස්කලංකකමක් ඒ ගම්මානයේත්, ගොවි නිවසෙත් පැතිරිලා තිබුණා. බොහෝ විට මේ අත්දැකීම විඳින්න පැමිණෙන්නේ අධ්‍යයන කණ්ඩායම් සහ නාගරික පවුල් බවයි කියැවුණේ. දුරබැහැර ගම්මානයක් නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුයි. ඉතාම පිටිසර ගමක මේ ස්වයං රැකියාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නෙ පළාත් රජයෙන් සහ කෘෂිකර්ම සහයෝගීතාවයෙන්. ඒක තමයි විශේෂත්වය. අපේ රටවල නම් සිද්දවෙන්නෙ සහයෝගය වෙනුවට තවත් පුලුවන් නම් බදු ගහල බොහොම අමාරුවෙන් ස්වශක්තියෙන් නැගිටින මිනිස්සුන්ගෙනුත් රජයට යමක් හරිහම්බ කරගැනීමනෙ. 

සංචාරකයන් සඳහා සූදානම් කළ කුටිය 

ගොවි නිවසේ තුන්වේලටම ලබා දෙන ආහාර ඔවුන්ගේ ගොවිපළෙන් වගේම ගම්මානයෙන් ලබා ගත් දෑ. වස විස නැති, රස ගුණ පිරි විශේෂ භෝජන සංග්‍රහයක්. ඒ ආහාර වේලක් සම්පූර්ණයෙන් භුක්ති විඳල අවසන් කරන්න බැරි තරම්. ඒ හැම වෙලාවකම මට සහය වුණේ අපේ සම්බන්ධීකාරිකාව වුණ නුගී සන්. ආහාර නාස්තිය ඔවුන් කෙසේවත් අනුමත කරන්නෙ නැහැ. ඉතින් මගේ කෑම වේල අපි දෙන්නම එකතු වෙලයි අවසන් කරගත්තෙ.

උදෑසන ආහාර වේලට උදව් වන නුගී සන්

එක් අයකුට එක් වේලකට වෙන් වන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? මේ සියල්ලම ගමෙන් ලබා ගත් දෑ

ගම්මානයට තරමක් දුරින් පැවති දිය ඇල්ල සංචාරක ආකර්ශණය ඇද බැඳ ගන්නා තැනක් විදියට දියුණු කරල තියෙනවා. දිය ඇල්ල ළඟට යන්න තිබුණෙ මේපල් ගස් යටින් වැටුණු කුඩා ගුරු පාරක් දිගේ. ඒ යන මඟ දෙපසත් පුංචි පුංචි නිර්මාණාත්මක දැයින් අලංකාරයක් එකතු කරන්නට මහන්සි අරන් තිබුණු බව පෙනුණා. 


දිය ඇල්ලට යන මඟ දෙපස හරිත පරිසරය


දිය ඇල්ල දක්වා යන පටු පාර අද්දර අවන්හලකට මඟ කියන්නෙ මෙහෙමයි... 



දිය ඇල්ල දුර දසුනක් ලෙස


මේපල් පත් අතරින් දිස්වන දිය ඇල්ල

ගිමන් හරින්නට තනා ඇති ගිම්හාන නිවස 

ස්වභාවයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන අපි අපේ ඒ ස්වභාවික ලස්සන නැතිකරගනිමින් ඉන්නවා. නමුත් ජපානය පවතින සුන්දරත්වය රැකගන්නව වගේම එය වැඩිදියුණු කරනවා. පුංචිම අසිරියකින් වුණත් පරිසරයත්, ජන ජීවිතයත් ගොඩනගන්නට ලොකු වැඩක් කරන්න ඔවුන්ට හැකියි. පිළිවෙල, පිරිසිදුකම, කාර්යක්ෂමතාව, රටට වගේම පරිසරයට තියෙන ආදරය ඒ දියුණුවේ රහස් කියලයි මට හිතෙන්නෙ.

නිවස අවට කුඹුරු යායවල්... ඈත කඳුවැටි




රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගොවි මහතා සහ බලු යාළුවා...

අපේ ගොවි සීයා ඒ දියඇල්ල බලන්න අපිව එක්කරගෙන ගියෙත් එයාගෙ පුංචි වෑන් එකෙන්. ඒ එන ගමනෙ මහා පරිමාණයෙන් සිදුකරන හතු වගාවක් බලන්නත් පුළුවන් වුණා. ඒ පැත්තෙ වී වගාවට වගේම හතු වගාවටත් විශේෂ තැනක් ලැබෙනවා. 

සංචාරක අපිට නිවසෙත්, ගොවිපළෙත් නිදහසේ සැරිසරන්න අවස්ථාව දීල ඒ දෙන්න දෙමහල්ලො එයාලගෙ දෛනික රාජකාරිවල නිරත වුණා. අපට යම් අදහසක් හුවමාරු කරගන්න උවමනා වුණ තැන්වලදි නුගී සන් ජපන් භාෂාව සහ ඉංග්‍රීසිය අතර අත්වැලක් වුණා. එදා රාත්‍රියෙ අපේ ගම ගෙයක වගේම ඔකාසන් ( අම්ම ) කෑම ලෑස්ති කරල දෙනකල් අපි රූපවාහිනිය බලමින් උන්නා. එදෝ යුගයට අයිති දුක්බර පෙම් කතාවක්. කොටස් විදියට යන ටෙලි කතාවක්. ගෙවිලිය නම් නොවරදවාම ටෙලිය බලන බවයි පෙනුණෙ.

ආහාර සප්පායම් වෙලා සාම්ප්‍රදායික තතමි පැදුරක සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට, නූතන විදුලි පංකාවකුත් දාගෙන අපි නිදාගත්තා. ඒ රාත්‍රිය සරලයි. සුන්දරයි..

පහුවෙනිදා උදෑසන ආහාරයෙන් පස්සෙ අපිව ආයෙම ආයතනයට ගෙනත් ඇරලුවේ හැත්තෑ වියත් ඉක්මවූ ඒ ගොවි අම්මා. ඉතා හුරුබුහුටි විදියට, පරිස්සමට ඈ වාහනය හසුරුවනවා බලන් ඉන්නත් ආසයි.

......

අපි කොහොමද අපේ රටට මේ කෘෂි සංචාරක කර්මාන්තය ආදේශ කරගන්නෙ. දැනටමත් සමහර ගොවි බිම්වල, හේන්වල, ගොවිපළවල මේ කටයුත්ත කෙරෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැඩ විදියට. අඹේවෙල ගොවිපළ මහා පරිමාණයේ වැඩක්. කොළඹ ගමයා අයියා ලියූ ගොවිපලේ නිවාඩුව සටහනත් කියෙව්වම තවත් අලුත් අදහස් ගන්න පුළුවනි. 

සංචාරක ආකර්ෂණය දිනාගන්න අපූරු අත්දැකීමක් විදියට මේ කටයුත්ත කරන්න නම් ඒකට ගැමි ගොවි ජනතාව දැනුවත් කරන්න ඕන. පිළිවෙල, පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂිතබව, අවංකකම, කැපවීම, සුහදශීලීබව වගේ ගුණාංග අත්‍යවශ්‍යයි. ලංකාවෙ අපි ළඟ අඩුවෙන්ම තියෙන්නෙත් මේ වටිනාකම්. කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාවඩා ගන්න බලාපොරොත්තුවෙන් නම් වැඩ කරන්නෙ ඒවට පැවැත්මක් නැහැ.
ඒ වගේම මේ ගොවිබිම්වල වැඩ කරමින් අත්දැකීමක් ලබන්න පාසල් සිසුන්ට ලබා දෙන අවස්ථාවත් හරිම වටිනව. එ් අත්දැකීම ගොඩක්ම වටින්නෙ නාගරික දරුවන්ට. 

42 comments:

  1. අපේ රටේ ඒ වගේ සුන්දර ස්තානයට යනකොට දකින්න ලැබෙන්නේ පෙර ගිය සංචාරකයන් ඉතිරි කරපු කැලි කසල... අපේ රට වැසියන්ට හොඳආදර්ශයක් මේ වගේදේ...
    ජපන් ජාතිකයන්ගෙ ඇති පිළිවෙල පිරිසිදුකම තමයි ඒ අයගෙ දියුනුවට හේතුව...

    හරිම ශෝක් අක්කෙ... මාත් ගොඩක් කැමති රටක්...

    ReplyDelete
    Replies
    1. මමත් ආදරය කරන රටක්... කොච්චර කැමතිද කියලා ජපන් මතක ගැන මා ලියූ මුල්ම ලිපියේ ඇති නංගි...

      Delete
  2. වසරේ මේ කාලේ තමයි ජපානයේ සංචාරකය කරන කාලේ.

    ReplyDelete
    Replies
    1. මම ආසයි සකුරා මල් සීසන් එකක ආයෙම ජපානයට යන්න...

      Delete
  3. Thank you writing about rural Japan.

    Many ppl come to Japan explain whole Japan as Tokyo and Osaka.

    JA have banks and hospitals also.

    If the this a real time story, pictures looks like in Kyushu :)

    ReplyDelete
    Replies
    1. Thank you very much, yes You r right. This is Kyushu.

      Delete
  4. ඔය ඇල්ල කුමමොතො කෙන් එකේද ?
    අවු 10කට කලින් ගියා ඔය වගේම ඇල්ලක් බලන්න .
    මතක විදියට ශිරයිකෙන්නො තකි (තකි කියන්නෙ ඇල්ල).
    බෙප්පු වල ඔන්සෙන් ගියේ නැද්ද.
    මම ඉන්නෙ හිරොශිමා වල.

    ReplyDelete
    Replies
    1. නම නම් මතක නැහැ. මේ අජිමු ටවුන්වල දිය ඇල්ලක්...

      බෙප්පු යුනිවසිටි එකට, බට ලී කලාගාරයක්, සුවඳ විලවුන් හදන තැනක් බලන්න ගියා... ඔන්සෙන් අත්දැකීම නම් ලැබුණෙ වෙන තැනකදි.

      හිරෝෂිමා සමරු උද්‍යානය බලන්න අවස්ථාවක් ලැබුණා. ඒ පින්තූර මේ ඇල්බම් එකේ ඇති ‘‘නන්දිකඩාල් සිට හිරෝෂිමා‘‘ දක්වා..

      ස්තූතියි ඇනෝ ජපන්.. මෙවැනි අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න ඔබටත් හැකියි නේද?

      Delete
    2. https://www.facebook.com/tharurasi.fernando/media_set?set=a.939216979554174.1073741841.100003976415871&type=3

      පින්තූර ඇල්බමයට මේ ලින්ක් එකෙන් යන්න පුළුවනි.

      Delete
    3. ලින්ක් එක බැලුවා, ස්තුතියි.
      ඒකෙ පින්තූර වල අන්තිම ඉඳල 2වෙනි පින්තූරෙ ඈත උසම බිල්ඩිම ඇතුලෙ වැඩ කරන්නෙ. මියුසියම් එකේ ඉඳල මී.500ක් විතර.
      ඒත් වැඩේ කියන්නෙ තාම ඔය පීස් මියුසියම් එක බලන්ඩ බැරි උනා කියාන්කො.
      මට ලියන ටැලන්ට් එක නෑ යකු.

      Delete
    4. අයියෝ... ඇත්තද? වෙලාවක ගිහින් බලන්න. හරිම දුක හිතෙනවා හැබැයි..

      Delete
    5. අනෝ නිහොන් ඇනෝ සන් සා,

      ඔහිශශිබුරි දෙස්. ගෙන්කි දෙස් ක ?

      බෙප්පු නම් ඉතින් හොයෝලන්ඩ් තමයි යන්න ඕනේ හිතේ හැටියට මඩ නාගන්න. ඕනේ නම් ඉතින් ජපන් කෑල්ලකුත් හොරෙන් ලාවට බලාගන්න බැරිය.

      ඒක නෙවේ හිරොශිම ඉදල ඔකුනොශිමා වත් ගියාද ඔයා ?

      මං මේ ලගදි වැඩකට යමගුචි ඇවිත් යන ගමන් මියජිමා වල අර අවුරුදු 1200 ක් ද කොහොද රත්වෙන මුට්ටියේ වතුරත් බිලා ආවා. හිරොශිම ඔකිනොමියකි වලට නම් මං කැමතියි ඕසකා ඔකිනොමියකි වලට වැඩිය. හිරොශිම ට්‍රෑම් ලයින් ඒක නම් මරු හොදේ.

      ඔයා ඇවිත් ඉන්නවා දැක්කමත් සන්තෝසයි හොදේ.

      Delete
    6. හිරොෂිමාවලින් ආප ආපහු ශිකොකු ආවෙ. ටකමට්සුවලට. ඔය තරම් විස්තර දන්නෙ නෑ අප්පා. මම උන්නෙ මාස තුනයි. ඔයාලට පුළුවනිනෙ මීට වඩා අත්දැකීම් ලියන්න. මොකක්ද අර රත්වෙන මුට්ටියේ කතාව...

      ස්තූතියි... ආයෙමත් ජපන් එන්න හිතන් ඉන්නවා. එනව නම් කියන්නම්...

      Delete
    7. සමා වෙන්ට ඕනේ. මං මේ අපේ හිරෝෂිමා ඉන්න නිහොන් ඇනෝට කිවේ. අද සිකුරාද නිසා එයා නොමිකයි වෙන්න ඇති දැන්මම.

      තරුරසී, තකමත්සු යන්න ඇත්තේ එහෙනම් ඔකයම ඇවිත් සෙටෝ බ්‍රිජ් එකෙන් වෙන්න ඇති නේද ? ශිකොකු යනවා නම් එක ලාබම රූට් එකක් තමයි ෆෙරී එකේ එහිමේ ට යන එක. 3000 ක් වගේ වෙන්නේ මං හිතන්නේ.

      ලිවුවා කලින්. බ්ලොග් වලට සම්බන්ධ නැති වෙන හේතුවක් නිසා ලියන එක නැවැත්තුව. දැන් මොකටද අනේ ඕව ගැන කතා කරලා හිත රිද්ද ගන්නේ.

      ඒ මුට්ටිය තියෙන්නේ හිරෝෂිමා වල මියජිමා වල Lovers Sanctuary එකේ. මෙන්න ලින්ක් එකක්. http://visit-miyajima-japan.com/en/activities/lovers-sanctuary.html


      සමා වෙන්ට ඕනේ ආයෙමත්. සයිබර් යාලුවෝ සැබෑ ජීවිතේටත් - සැබෑ ජීවිතේ යාලුවෝ සයිබර් වැඩ වලටත් සම්බන්ධ කරගෙන වැඩ පටලවා නොගන්න ස්ථිර ප්‍රතිපත්තියක ඉන්නේ මම. ඒ මොනවා වුනත් ඔයා ආයෙත් ජපානේ බලන්න එන එක නම් හරිම සතුටුයි.

      Delete
    8. ඔයිටා ආවෙ නම් ෆෙරි එකක. ආපසු ගමන බස් එකක. පාලමෙන් ආවද කියල හරියටම මතකයක් නැහැ. සෙටෝ බ්‍රිජ් බලන්න වෙනම දවසක ගියා.

      ජපානය සම්බන්ධව ලිපි ලිව්ව නම් ලින්ක් එකක් තියෙනවනම් දෙන්න බලන්න.

      ....... ඒ ගැන නම් කරදර වෙන්න එපා. කවදා එන්න වෙයිද දන්නෙ නැහැ. ටෝකියෝවල නෑදෑ පිරිසක් ඉන්නවා. ආවත් ඒ පැත්තට තමයි මීළඟ වතාවෙ යන්න අදහස...

      Delete
    9. https://nesciencetoscience.blogspot.jp/2016/08/blog-post.html

      https://nesciencetoscience.blogspot.jp/2017/01/fukushima-50.html

      https://nesciencetoscience.blogspot.jp/2017/01/road-to-nowhere.html

      https://nesciencetoscience.blogspot.jp/2016/05/blog-post.html

      https://nesciencetoscience.blogspot.jp/2017/02/blog-post.html

      ඔය කීපය තමයි මම කලින් ලිවේ.

      ....කරදරවීමක් ලෙස සැලකීමෙන් නෙවෙයි. හුදෙක් පුද්ගලික හේතු කීපයක් නිසා කලකට කලින් කල පුද්ගලික තෝරාගැනීමක් විතරයි....ඔබේ ජපන් චාරිකාව කවද කොතැනට වුනත් මෙවැනිම බොහොම සුන්දර සුමට එකෙක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

      ජපානය ගැන වටිනා තොරතුරු සිංහලෙන් ලියනවට ඔබට නැවත ස්තුතියි.

      Delete
    10. අප්පට සිලි මේ අපේ කෙන් ද එතකොට. කොහේද බං ඉන්නෙ.
      ඉන්න තැනක ඉඳල ආයෙත් ඔය මොනව හරි ලියහං බං.
      ඔව්වොව් ඊයෙ සිකුරාද අපි ඉතින් සරරිමන්ල නොමිකයි නෙ.

      Delete
    11. හිටිය පොසිෂන් එකටම ආවා ආපහු.
      අපේ ලංකාවේ ලොකු ලොකු මහත්තුරුන් ගේ රාජසිංහ රජ්ජුරුවොන්ගේ කාලේ ප්‍රොසීඩියර් නිසා තව පොඩ්ඩෙන් බඩේ බත් නැතුව යනවා. මොනවා වුනත් ජපන් බොසා කිවුව මේ වචනටික මට කවදාවත් අමතක වෙන්නේ නෑ. "උන්ට උබේ උදව් ඕනේ නැති වුනාට මට උබේ උදව් දිගටම ඕනේ. මං කොහෙන් හරි සල්ලි ටිකක් අරගෙන තව ටික කලකට උබව තියාගන්නම්. මට පුළුවන් කමක් තියෙනකන් මං කොහොමත් උබව වැටෙන්න දෙන්නේ නෑ." බොසා කිව්වා වගේම කරලත් දුන්න. දැන් නිහොන්ගෝ ටිකක් ඉගෙනගන්නවා තව ටික කලක් මෙහෙ ඉන්න හිතාගෙන.

      නිහොන් ඇනෝ සන්ට පුළුවන් නම් මොනවහරි ලියන්නකෝ සිංහලෙන්-ජපන් ඉගෙන ගන්න පහසු වෙන්න.

      Delete
    12. ස්තුතියි ලින්ක්ස් ටිකට. මම විවේකීව බලන්නම්.

      Delete
  5. හරිම ලස්සනයි. හරිම පිරිසුදුයි. ජපානය ගැන මට ආස හිතුනේ පොඩි කාලේ ඔෂින් බලද්දී. ඒ අය හරිම කාර්යක්ෂමයි නේද? ස්තුතියි අක්කේ මේ ලිපියට

    ReplyDelete
    Replies
    1. ඉතින් සයුරිත් ජපන් ලමයෙක් නොවැ.
      සයුරි කියන නම, ඔය ප්‍රොෆයිල් ෆොටෝ එක සේරම ජපන් නෙ.

      Delete
    2. ජපානය සුන්දර රටක්... මිනිසුන් ආචාරශීලීයි. සමහර වෙලාවට නම් හිතෙනවා එය කෘතිමද කියලත්... මම ඔෂින්ට, ජපානයට කොයි තරම් කැමතිද? ඒ කැමැත්ත ඇති වුණේ කොහොමද කියල මේ ලිපියෙ ඇති නංගි...

      http://tharurasi.blogspot.com/2012/06/blog-post_07.html

      Delete
    3. ඇනෝ : අප්පේ ඒකත් හැබෑව

      තරු අක්කා, ස්තුතියි පාර කිව්වට...ඒකත් බලන්න ඕනේ

      Delete
  6. මේ දවස්වල අපේ හොඳ යාලුවෙක් ජපානයේ සංචාරයක ඉන්නේ.මිනිහා හරි පරිසරවේදියා.ලංකාවේ උනත් අපි කට්ටිය ඔය කොහේ හරි නාන්න කරන්න ගියාම මිනිහා තනිවම ලොකු බෑග් එකක් හොයාගෙන අහල,පහල තියෙන ඔක්කොම පොලිතින්,ප්ලාස්ටික් වගේ කුණු එකතු කරන් එනවා.දැන් ජපානයේ ඉඳන් ආවට පස්සේ අහන්න බලන් ඉන්නේ අපි මිනිහාගේ ජපන් මිනිස්සු පරිසරයට ආදරේ කරන හැටි ගැන එයාගේ දේශනාව.

    තරු අක්කාගේ පෙනුම අද වගේමයි එදාත්.

    ReplyDelete
    Replies
    1. යාළුවගෙනුත් අහල බලන්නකො මල්ලි. පුළුවනිනම් එයාගෙ අදහස් අරන් ලිපියක් ලියන්න.

      2011 ගත්ත පින්තූර... අවුරුදු හයකට කළින්... දැන් වයසයිනේ...

      Delete
    2. කෝ එහෙම වයසක් පේන්නේ නැහැනේ...:)

      Delete
  7. මටත් ලොකු ආසාවක් තියෙනවා ජපානෙට ගිහින් ටික කාලයක් ඉන්න. මේක බැලුවාම ඒ ආසාව තවත් වැඩි උනා.

    ReplyDelete
    Replies
    1. සංචාරයට හොඳ රටක්... ගිහින් එන්න.

      Delete
  8. මේ ලෝකෙ දෙවනියට ශ්‍රේෂ්ඨම ජනවර්ගය ජපන්නු.
    පලවෙනියට ශ්‍රේෂ්ඨ ලංකාවේ දෙමළු.
    මම හරිනේද? :D

    ReplyDelete
    Replies
    1. මිනිස්කම රකින කවුරුත් ශ්‍රේෂ්ඨයි. ඒකට ජාති, ආගම් භේදයක් නැහැ.

      Delete
  9. ජපානෙට ගියා වගේ අක්කෙ... මාත් පුදුම ආසයි ජපානෙට...
    තව ලියන්න ඒ ගැන...
    කියවන්න බොහොම කැමැත්තෙන් බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.. හෙමිහිට ලියන්නම්කෝ...

      Delete
  10. ජපානය කියන්නේ යන් හිතාගෙනම ඉන්න රටක්. තව අවුරුදු හතරකින් විතර යන් හිතන් ඉන්නේ. ළමයින්ගේ විභාග ඉවර වුනහම. ලස්සන සටහන් ටික. අර සමුපකාර ක්‍රමය මරු නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම යන්න අයියේ... සකුරා මල් කාලෙක නම් වඩාත් හොඳයි. ඒ ගියාම ගම් පළාතකටත් යන්න අමතක කරන්න එපා.

      ජපන් කෘෂි සහයෝගිතාව මං දන්න තරමටත් වඩා ගොඩක් හොඳයි වගේ... ඒ ක්‍රමය ගැන හොයල බලන්න ඕන. පහසුවෙන්ම අපේ දැනට තියෙන සමෘද්ධි යාන්ත්‍රණය මේ ක්‍රමයට ගොඩනගන්න පුලුවනිි. ඒකට රජයේ අවංක මැදිහත්වීමක් ඕන...

      Delete
  11. ඇත් කැටයම ජැපනීස් ද?

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන.. ඒ ගැන ඇහුවද කියල මතකයක් නැහැ ප්‍රා..

      Delete
  12. කියවපුවාම හරි ආස හිතුනා තරුරසි අක්කා. Me ගමනේ රූප තියෙනවා nam එවන්න puluwanda. E wagema mata thawa wisthara ටිකකුත් one me gena.

    ReplyDelete
    Replies
    1. ඔයාට දැනගන්න ඕන මොනවද කියල මට මේල් එකක් දාන්න. tharurasi@gmail.com

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...