Sunday, October 8, 2017

දේශද්‍රෝහියාට ප්‍රතිචාර


ලොකු නංගී

‘‘අපි ඒ කාලෙ ජේවීපි එක නිසා කොච්චර දුක් වින්දද? ඔයා ඇයි, මේ පොතෙන් ජේවීපී එක සාධාරණීකරණය කරල තියෙන්නෙ?‘‘

‘‘මම? ජේවීපී එක සාධාරණීකරණය කරලා. නෑ මං එහෙම දෙයක් ලියල නැහැනෙ.‘‘

‘‘එතකොට ආදිත්‍ය ජේවීපී නෙමෙයිද?‘‘

‘‘නෑ, නෑ ආදිත්‍ය ජේවීපී නෙවෙයි. ආදිත්‍යට ආගමක් නෑ වගේම, දේශපාලන පක්ෂයකුත් නැහැ.‘‘

..........

අම්මා

සති අන්තයේ ගමේ යද්දි ඈ උන්නේ ගංඟාගේ පොතක් කියවමින්. අම්මා ගංඟාගේ පොත්වලට කැමති නිසාම පොත් ප්‍රදර්ශනයෙන් ඇයට ඒ පොත් ගෙනවිත් දුන්නෙත් මමයි.

‘‘මම ඔයාගෙ පොත ටිකක් කියෙව්වා. මේ කලබල එක්ක කියවන්න පුළුවන් පොතක් නෙමෙයි ඒක. නිවාඩුව කියවන්න ඕන.‘‘ මගේ පොත වෙනුවට ගංඟාගේ පොත කියවීම සාධාරණීකරණය කළේ එහෙම...

ඊටත් ටික වෙලාවකට පස්සෙ මෙහෙම කියනවා.

‘‘ගංඟාගෙ කතා තෙරුම් ගන්න ලේසියි. කියවගෙන යන්න පුළුවන්. මේ වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතාවක් ලියන්නකො.“

අයියෝ, මගේ සියඹලා!!!

...........

පොඩි නංගී

‘‘ගීතක්කා මට කතාව ටිකක් කිව්වා. මමත් මේ කියවන්න ඉන්නෙ නිවාඩුවක් ලැබුණම.“ 

( එයාට ඒ නිවාඩුව කවදාවත් ලැබෙන්නෙ නැති බව නම් මං දන්නවා. )

පොඩි නංගී කොහොමත් පොත් කියවන්න කම්මැලියා. අපේ ගෙදර මං ඇරුණම පොත් ගුල්ලි ලොකු නංගි. ඒ වගේම අම්මා.

‘‘ඉතින් ගීතක්කගෙන්ම කතාවෙ ඉතුරු ටිකත් අහගන්නකො.“ මම කිව්වා.

............

චූටි මිමී සහ චන්දු

පොත් පහක්ම තුරුළු කරගෙන.

‘‘මම්මේ ඔයාද මේ ඔක්කොම ලිව්වෙ?“ ඇසුත් ලොකු කරගෙන.

‘‘මං ලිව්වෙ එක පොතයි. ඒකෙන් තමයි අනිත් ඔක්කොම පොත් හදන්නෙ.“

‘‘මම්මෙ මමත් පොතක් ගන්නවා. මම ටික ටික කියවනවා.“ එහෙම කිව්වට ඈ තාම දෙක වසරෙ.

චන්දු පොතේ පසුකවරෙ පෙන්න පෙන්න... ‘‘මේ මම්මා, මේ මම්මා ‘‘ කියනවා.

අක්කා මල්ලිට පොතේ නම පාඩම් කරවනවා.

‘‘දේශ‘‘ - දේත
‘‘ද්‍රෝහියාගේ‘‘ - දෝයියාගේ
‘‘නිර්මල‘‘ - නීමල
‘‘හෘදය‘‘ - හදය...

මගෙ චන්දු කැටේ පොතේ නම කියන හුරතල් විදියට අල්ලල පොඩි කරන්න හිතුණා.

.........

‘‘තමුසෙ යකෙක් ඕයි. These are the best words I can muster. Amazing writing Nangi. Mixing Soloman and Panchasika is an amazing literary trick."

හෂිත අයියා

..........

‘‘විසල් අහස යට තරු කිරණ, ඔයාගෙ නිර්මල හෘදය මාරයි. ඔයා දක්ෂයෙක්. ඒ ගැන විවාදයක් ඇත්තෙම නෑ. ආදරෙයි.“

කුමාරි අක්කා

"young nun at prayer" | sergei ivanovich gribkov
.........

‘‘නංගියෝ, මට ආයෙත් ඒ පොල්ලතු ගෙදරට දුවල යන්න හිතයි. ඔයාට මාර මතකයක් තියෙනවනේ. ලස්සනට ලියල. මගේ ජීවන අත්දැකීම සහ ඔයාගෙ ලිවීමේ හැකියාව ගැන මම දෙවිඳුන්ට තුති පුදනවා හදවතින්ම. ස්තූතියි. ජේසු පිහිටයි.‘‘

සිස්ට ශිරානි

.........

‘‘තරූ, එයාගෙ කුළුඳුල් නවකතාවට නම දාලා තියෙන්නෙ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ කියල. ඒකෙ හැම චරිතයක්ම මහා සමාජෙට අනුව දේශද්‍රෝහීන්. ඒත් ඒ දේශද්‍රෝහීන්ගේ නිර්මල හෘදයන් මොන වගේද කියල කියන්න ඇය අවංක උත්සාහයක් දරල තියෙනවා. දවසක ලෝකය තේරුම් ගනීවි දේශද්‍රෝහීන්ගේ හෘදයන් මොන තරම් නිර්මලද කියල.“

සාලිය

.............

‘‘ඔන්න මං පොත බලන්න ගත්තා. දැන් දෙන්නගෙ හැඩරුවත් මගෙ හිතේ ඇඳිල ඉවරයි. මං නම් සිස්ට සෙව්වන්දි වගේ නෙවෙයි. මට එච්චර දෙයක් කරගන්න හයියක් නෑ. මං හිතුවට වඩා ඔයා දක්ෂයි. භාෂාව හරිම ලස්සනයි.

වාව්... ඔයාගෙ පොතේ මාත් ඉන්නවනේ.“

සිස්ට මර්සි

දෙව්දුව චිත්‍රපටයේ මාලනී
...........

‘‘මොකක්ද බං මේ ලියල තියෙන මළ ඉලව්ව. උදේ ට්‍රේන් එකේ එද්දි කියවන්න ගත්තා. නවත්තගන්න බෑ. ලෙක්චර්ස්වලදිත් කියෙව්වා. හොරෙන් ඉස්කෝලෙ යන කාලෙ වගේ. දැන් ඉන්නෙ 148 පිටුවෙ නික්ම යාමෙ. උඹ ආදිත්‍යට මොනව හරි කරල තිබ්බොත් අම්මපා හොයාගෙන ඇවිත් හොඳ වැඩක් කරනවා. ලැජ්ජයි කඳුළු පිහ පිහ පොත් කියවනකොට. වටේ ඉන්න උන් හිනාවෙනවා.“

විපුලි අක්කා

.............

කිසිසේත් අමතක කළ නොහැකි අපූරු දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබුණා පොත ගැන. එවරස්ට් ආරච්චිගේ, වසන්තා මිහිඳුකුලසුරිය, කැලුම් ප්‍රසන්න, සාලිය ඉඳුරුවිතාන දැක්වූ අදහස් මට ගොඩක් වටිනවා. ඒව දීර්ඝ සාකච්ඡා නිසා ලියන්නේ නැහැ. වසන්තා අක්කා කියූ අකුරු වැරදිත්, එවරස්ට් අයියා කියූ අටුවාවක අඩුවත් මීළඟ පොතේදි නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න පොරොන්දු වෙනවා.

අමතක කළ නොහැකිම ඇමතුමක් තමයි නයනහාරිගෙ තාත්තා සිරිපාල අබේනායක මහත්මයා ලබා දුන් ඇමතුම.

පොත් ප්‍රදර්ශනය නිම වූ දවසෙ අස්පස් කිරීම් නිමවෙලා නවාතැනට එද්දි රෑ එකොළහයි. සාමාන්‍යෙයන් රෑ එන නාඳුනන ඇමතුම් මඟහැරියත් එදා මම ගෙට ගොඩවුණ ගමන්ම නිසත්, පොත් සම්බන්ධ කාරණයක් විය හැකි නිසාත් ඇමතුමට සම්බන්ධ වුණා.

‘‘දුව මම මේ කතා කරන්නෙ නයනහාරිගෙ තාත්තා. මම මේ දුවගෙ පොත කියවල ඉවරවුණා විතරයි.‘‘

ඒ විදියට පටන්ගත්ත සංවාදය පැය භාගයක් විතර දිගට ඇදුණා. තමන් ලියු පොතක් සම්බන්ධව එවැනි අදහස් දැක්වීමක් අහන්නට ලැබෙන එක මොනතරම් වාසනාවක්ද? ලිවීමේ අරමුණ සාක්ෂාත් වෙලා කියල දැනෙන්නෙ ඒ වගේ අදහස් දැක්වීමකදි. මට කියාගන්න උවමනා වුණ දේ තාත්තා කෙනෙකුට දැනුණ එක අප්‍රමාණ සතුටක්.

‘‘නංගි තාත්තා කතා කළානෙ මට පොත කියවල.‘‘ සතුට වෙනුවෙන් උපන් කඳුළුත් ඇස්වල තියන් මම පහුවෙනිදා නයනහාරිට කතා කළේ.

‘‘මම පොත් ගෙනත් මේසෙ උඩ තිබ්බා අක්කෙ. තාත්තා කොහොමහරි ඔයාගෙ පොත තමයි අරන් කියවල තියෙන්නෙ. පොතේ නම්බර් එකත් තිබුණනෙ. කතා කරන්න හිතෙන්න ඇති. මට කිව්වෙවත් නෑ කතා කළා කියල.“

........

මේ අතර පොතේ නම නිසා, බයිබල් පාඨ නිසා, පොතේ කවරෙ ආකර්ෂණීය නැති නිසා පොත පෙරළල තියල ගිය බවත් දැනගන්නට ලැබුණා. කවරය ගැන චෝදනා තිබුණත් මේ තමයි ඇත්තටම මට උවමනා වුණ කවරය. මේ කවරය සහ ඊට පසුබිම් වූ ස්මාරක පවුර කියන්නෙ ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව යුද සමයේ අතුරුදහන් කරවූවන්, මරාදැමූවන්, මිය ගියවුන් සැමරීම සඳහා කළ නිර්මාණයක්.

මගේ භාෂා රටාවේ වෙඩිවර්ධන අභාසය ඇති බව අසන්නට ලැබුණු තවත් අදහසක්. එය විය හැකි දෙයක්. වසර පහක පමණ සිට පිටු සැකසුම් කරන්නට, ටයිප් කරන්නට මංජුල අයියාගේ පොත් සමඟ ගැටෙන නිසා එම බලපෑමෙන් මුළුමනින්ම මිදෙන්නට නොහැකි වූ බව, එය මගේ ලිවීමට වගේම කියවීමටත් බල පා ඇති බව මා පිළිගන්නවා.


71, 88-89, වසර 30 ක යුද්දය මේ හැම අවස්ථාවකම සිදුවුණා වගේ මනුෂ්‍ය ඝාතන නැවතත් අපේ රටේ සිදුනොවේවා, එයයි මගේ ප්‍රාර්ථනය!!!

ප.ලි.

මූණුපොතේ පළ වූ ප්‍රතිචාර මෙයට ඇතුළත් නොකළේ ඔබ දැනටමත් ඒවා කියවා ඇති බැවින්...

Tuesday, October 3, 2017

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය 01


රොෂානි අක්කා

අපි එක ම ගම් පළාතෙ. එකම පල්ලියෙ. පුංචි කාලෙ අපේ ගමට පල්ලියක් තිබුණෙ නෑ. අපි හැමෝම ගියේ කඩවලගෙදර පල්ලියට. ඒ කාලෙ මට ඇයව පෙනුණෙ නිතරම පොහොසත් ළමයි පිරිවරාගෙන ඉන්න, දවසින් දවස ලස්සන ලස්සන ඇඳුම් අඳින පොහොසත් ආඩම්බරකාර යුවතියක් විදියට. ඇය තමයි ගීතිකා කණ්ඩායමේ නායිකාව. ඇය තමයි ඕගන් එක ප්ලේ කරෙත්. මහ පල්ලියෙන් ඈත පුංචි ගමක උන්නු මට එතැන ළංවෙන්නවත් බැරි මහ විශාල තැනක් විදියටයි පෙනුණෙ. දැනුණෙ.

කාලයක් යද්දි අපේ ගමට පුංචි පල්ලියක් ලැබුණා. මම ගමේ පල්ලියෙ සන්ක්‍රිස්තියන් වෙලා ඔක්කෝම වැඩත් කළා. දහම් පාසලෙත් ඉගැන්නුවා. පුංචි කාලෙ අපිට ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ) ළමා සමිතියකුත් තිබුණා. ඒක පටන්ගත්තෙ 1988. ඒ වෙද්දි අපට පල්ලියක ලකුණක්වත් තිබුණෙ නැහැ. අත්හැරුණු වත්තක, පාළු ගේක තමයි දහම් පාසල පැවැත්වුණේ.

ගමෙන් පිටට ළමා පුහුණුවකට මුල්ම වතාවට මාව එක්කරගෙන ගියෙත් රොෂානි අක්කයි, සුනේත්‍රා අක්කයි. ඒ වෙද්දි මං නමය වසරෙ. කුලියපිටිය පල්ලියට ඇවිත් මාව භාර දීලා තාත්තා රොෂානි අක්කට කිව්ව රහස මං දැනගත්තෙ පස්සෙ කාලෙක. ‘‘අපේ දුව තාම වැඩිවිය පැමිණිලා නෑ දුවේ.‘‘ ඒ දවස් තුනක පුහුණුව තිබුණෙ මල්පිටියෙ පල්ලියෙ. එදා දැකපු ළක්‍රිවී අනුශාසකවරු නිසා මටත් ආසාවක් ඇති වුණා ළක්‍රිවී කරන්න. ඒත් අපේ අනුශාසක අයියල නැති වෙලා සමිතිය නැවතුණාට පස්සේ ආයෙම පටන්ගන්න තරම් ඒ ගැන මට හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. 

සාමාන්‍ය පෙළ හෙම කරල ඉද්දි තමයි රොෂානි අක්ක දිගින් දිගටම මාව ලුහුබඳින්න ගත්තෙ. හමුවෙන හමුවෙන තැන එයා කිව්වෙ නංගි ළක්‍රිවී කරන්න එන්න කියල. ‘‘එයාල එක්ක මොන ළක්‍රිවීද?‘‘ කියලමයි මට හිතුණෙ. ‘‘නංගි ඔයාට පුළුවන් ළමයි එක්ක වැඩ කරන්න.‘‘ එයා මට බල කරන්න ගත්තා. ඉතින් මං කළේ එයාව මග හැර හැර ඉන්න එක. මහ පල්ලියට ගියත් එයාගෙ ඇස් නොගැටෙන විදියට ඉන්නයි මට ඕන වුණේ. එයත් වැඩේ අතෑරියෙම නැහැ.

‘‘අම්මෝ මෙයා ඉස්සර මාව දකිද්දි පැනල දුවනවා.‘‘ ඇය ඒ අතීතය තාමත් සිහිපත් කරන්නෙ සිනාවෙන්. 

අන්තිමේ 1997 අපේ පල්ලියට ආව අලුත් පියතුමා එක්ක කතා බහ කරලා අපේ පල්ලියෙත් ළක්‍රිවී ළමා සමිතිය අලුතෙන් පටන්ගන්න රොෂානි අක්කා අඩිතාලම දැම්මා, මටත් බැහැ කියන්නම බැරි වෙන්න මාව වැඩේට අල්ල ගත්තා. ඉන්පස්සෙ ළක්‍රිවීයයි, මමයි දෙන්නෙක් නොවන තරමට ම මම ළක්‍රිවි එක්ක බැඳුණා. ළමයි එක්ක වැඩ කරන එක අප්‍රමාණ සතුටක් වුණා. එතෙක් ගෙවුණු ජීවිතය, මගේ සිතුම් පැතුම්, අරමුණු මේ හැමදෙයක්ම වෙනස් කරන්න ළක්‍රිවියට හැකි වුණා.

අර ආඩම්බරකාර යුවතිය මගේ ජීවිතයේ හමුවුණු ආදරවන්තම අක්කා කෙනෙක් වුණා. ඇගේ නිවස, ඇගේ කාමරය, ඇගේ පුංචි පුස්තකාලය මට මගේම වගේ දැනුණා. මම කැලණිය විශ්වවිද්‍යාලය තෝරගන්නත් එක හේතුවක් ඇය සහ ළක්‍රිවීය. ඒ වෙද්දි ඇය උන්නෙ කැලණියෙ. ඉතින් සරසවි ජීවිතයෙදිත් අපි නිතර නිතර හැන්දෑ වරුවල හමුවෙලා කතා කර කර උන්නා. කොයිතරම් කතා කළත් නොහිඳෙන කතා උල්පතක් අපි අතර ගලමින් තිබුණා.

ඇය දීප්ති අයියව තමන්ගේ ජීවිතයෙ සහකාරයා හැටියට තෝරගත් බව දැනුම් දුන්නෙත් හරිම ආදරණීය විදියට. “නංගි මං ඔයාට ගොඩක් හොඳ අයිය කෙනෙක් තෝරගත්තා.“ දීප්ති අයිය කියන්නෙත් මේ ජීවිතය තුළ හමුවුණ ආදරවන්තම සහෝදරයෙක්.

ඉතින් ගමෙන් පිටට තනියෙන් අඩියක් නොතිව්ව, දවසට වචන දහයක්වත් කතා නොකළ නිශ්ශබ්ද, කුලෑටි දැරියක වුණු මාව බලෙන්ම ළක්‍රිවියට අරන් ඇවිදින් අලුත් ජීවිතයකට පාර පෙන්නුවෙ රොෂානි අක්කා. අද මං යම් ගමනක් ඇවිත් තියෙනවනම් ඒ ගමනේ අඩිතාලම දැම්මෙ ඇය කියලයි මට හිතෙන්නෙ. මං අකමැත්තෙන් මගහරිද්දිත් අත්නොහැර මාව ළක්‍රිවියට කැන්දගන ආවට අක්කේ ඔයාට ස්තූතියි. 

ඇය ගැන මුලින් මං මවාගෙන උන්නු චිත්‍රය බොඳවෙලා ඉක්මණින්ම අලුත් සිත්තමක් ඇඳුණා. මිනිසුන් ගැන පූර්ව නිගමනවලට නොඑළඹී මනුෂ්‍යත්වය ගැන විශ්වාස කරන්න මට කියාදුන්නේ ඇයයි මුලින්ම. ඒ ඇගේ ජීවිතයෙන්ම. ඒ නිසාම පසුකාලයේ යම් වේදනාත්මක අත්දැකීම් ලැබුණත් මං තාමත් කැමතියි හැම මනුෂ්‍යෙයක්ම යහපත් කියන තැන ඉඳල මානව සම්බන්ධතා පවත්වන්න. මිනිසුන් එක්ක වැඩ කරන්න.

රොෂානි අක්කයි, දීප්ති අයියයි, දුවල දෙන්නයි පොත් ප්‍රදර්ශනයට ඇවිදින් මාව හොයාගෙන ‘සම‘ කුටියටම ඇවිත් මගේ නවකතාව ගනිද්දි මගේ ඇස්වල කඳුළු. මගේ හිත දිව්වෙ ඒ අතීතයට. මං හරි වාසනාවන්තයි ඒ වගේ ආදරවන්ත මිනිසුන් මේ ජීවිත ගමන තුළ හමුවන්න.

රොෂානි අක්කා සමඟ ‘සම‘ පොත් කුටියේ

දීප්ති අයියා, ප්‍රේමන් අයියා, රොෂානි අක්කා සමඟ මම


 

Friday, September 8, 2017

‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ - මගේ කුළුඳුල් නවකතා ප්‍රයත්නය


‘‘තරුරසී පාළුවට ගොසිනි. ඒ මා නවකතාවක ගිලී සිටිය බැවිනි.

අවසන, මම නවකතාවක් ලීවෙමි. එය මගේ කුළුඳුල් මුද්‍රිත නවකතාව වන්නේය. මින් පෙර පාසල් සමයේ දි අත්අකුරින් අභ්‍යාස පොත්වල නවකතා කිහිපයක් ම ලියා ඇත. එබැවින් මෙය මගේ කුළුඳුල් නවකතාව යැයි කීම සාධාරණ නොවේ.

මේ කතා සංකල්පය උපත ලබන්නේ 2012 වසරේ වප් මහේ අවසන් සති අන්තයේ ය. තිඹිරි ගෙය තුලන දහම් මධ්‍යස්ථාන ය. එකී ගැම්මෙන් ම 2013 වසරේ නවකතාව ලිවීම ඇරඹුවෙමි. පළමුවෙන් ම මා ලියූ වාක්‍ය තවමත් මතකය.

‘‘දිව්‍ය පූජාව අවසන්.“

ඒ වාක්‍යය ද සමඟ ඒ පරිච්ඡේදය ද යම් යම් සංස්කරණයන්ට ලක් වී කෘතියෙහි ඇතුළත්ව ඇත්තේය. 2013 වසරේ ලියූ පරිච්ඡේද කිහිපයකින් අනතුරුව එතනින් එහා යා ගත නොහැකිව අතරමං වීමි. මම සෝර්බා, බත්තලංගුණ්ඩුව, මගේ ආදරණීය යක්ෂණී පිටු සැකසීම ඇරඹීමි.



ඉනික්බිති එළඹි සෑම වසරකදී ම නවකතාවේ යම් යම් කොටස් ලියැවිණි. නමුත් ඒ සියල්ල විසිරුණු සිතුවිලි කැබලි ලෙස තැන තැන තැන්පත් වූවා පමණි.

2016 වසරේ නවකතාවක් ලිවීමේ තාක්ෂණික  ක්‍රමවේද පිළිබඳ මා මිත්‍ර දිමුතු සමඟ වූ කතිකාවක් අතරතුර නැවතත් මට අලුත් ජීවයක් ලැබිණි. ඒ අනුව සැලසුම් සකස් විය. කතාව අලුතින් ගෙතීම ඇරඹිණි. නමුත් ටික දිනකි. නැවතත් අතරමඟ වැඩ අතහැරිණි. මෙම වසරේ මුල හොඳටෝම හිත රිදුණු බිඳුණු දවසක මට නැවතත් මගේ කතාව සිහිපත් විය. නව ජවයකින් ගොනුව විවෘත කරගතිමි. එදිනම සවස ඊමේලයක් ලැබිණි.

‘නරකද නවකතාව සුද්ද බුද්ද කරල ගත්ත නම්. මේ සැරේවත් පළකරන්න.‘

පුදුමය, එදා උදෑසන මා තුළ ද ඒ සිතුවිල්ල පැන නැගී වැඩේට අත ගසා තිබූ බැවිනි. සත්සමුදුරු ගෙවා සිතුවිලි රැහැන් බැඳෙන්නේ කෙබඳු අරුමයකින්ද නොදනිමි.

ඉතින්, මෙවර මම එය ලියා අවසන් කළෙමි. නවකතාවක් ලිවීම කෙබඳු දුෂ්කර පරිශ්‍රමයක්දැයි කියන්නට වදන් නැත. වරෙක ඇල්ලක් සේ සිතුවිලි කඩා හැලෙන අතර, තවත් විටෙක පව්වක් සේ සොලවාලිය නොහැකි පරිදි සිතුවිලි ගල්ගැසෙන්නේය. නවකතාව යනු කිසිදා ලියා අහවර කළ නො හැකි දෙයක් යැයි මේ මොහොතේ පවා මට සිතෙන්නේය. දැන් මා අත පිටපත තිබුණේ නම් මට තවත් දෑ ලියන්නට, වෙනස් කරන්නට ඇත.

ඉදින්, මගේ ප්‍රථම මුද්‍රිත නවකතා ප්‍රයත්නය ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය“ නම් වන්නේය.

‘සම‘ ප්‍රකාශනයකි. මිල රු. 400 කි. එළිදැක්වීම් කිසිවක් නැත. පොත් ප්‍රදර්ශනයේ J 286 සම පොත් කුටියේ දී කියවනු රිසි ඔබ ට පොත මිල දී ගත හැකි වනු ඇත.

මේ ගීතය අසන්න. මට නවකතාවකින් කියන්නට අවැසි වූ දෑ, ගීතයක පදවැල් අතර රැඳී ඇත්තේ කොතරම් අපූර්ව ලෙස ද? ගේය පද රචනය කුලරත්න ආරියවංශයන්ගෙනි. ගායනය සුනිල් එදිරිසිංහ ය. තනු නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.





Wednesday, July 26, 2017

තරු ඇස් රහස් ගැන ප්‍රියංකර සටහන

www.pinterest.com

තරංගනී ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයට ප්‍රවේශ වීමේදි ඇය සිය කවි එකතුව මුලට එක් කරන ගබ්‍රියේලා මිස්ත්‍රාල් නම් ලතින් ඇමරිකානු කිවිඳියගේ කාව්‍ය ඛණ්ඩය ඉතා වැදගත් වේ යැයි 
සිතමි .

'ප්‍රේමය අසිරිමත්‍ ය .
එය මිහිමතවට දෙවියන්ගේ සෙවනැල්ලය .'

තරංගනීගේ කවි එකතුවේ එන සෑම කවියකින් ම පාහේ ඇය කුළු ගන්වන්නට උත්සහ කරන්නේ මානව ප්‍රේමය බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මිනිසකු හුදු භෞතික සිරුරක් ලෙස පමණක් දකින්නට පොළඹවන සාධක අනන්ත ලෙස මුණගැසෙන සමාජ ක්‍රමයක් තුළ මිනිසකු ගේ මිනිස් ආත්මය විනිවිද දකින්නැයි කරන ඇඟවුම තරංගනී ගේ කවිය තුළ අපට හමුවෙයි.

ජාතීන් අතර එන්න එන්නම සිදුවන දුරස්වී ම්වල අනතුර, ජීවිතයේ දී ආදරය මුණ නොගැසෙන ගැහැනියගේ පිරිමියාගේ වේදනාව, අරගලයේදී ජීවිතය අහිමිවන මිනිසා තරංගනී සිය කවි ඇසට අසුකර ගැනීමට උත්සහ කරන්නේ මානව දයාව තරම් කවියකු වෙත හිමිවන අන් කවරසම්පතක් වත් නොවන බව ඉඟි කරමිනි .

‘ඒ මගේ පණ' හිසින් යුතු කවියේදි තරංගනී අරගල බිමක දී මිය ගිය පුතකු අප වෙත සම්මුඛ කරන්නේ ඒ පුතගේ මවට හඬක් දීමෙනි. එහිදී ඇය ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ද අපට මුණගස්වයි. එහෙත් ඇය අනවශ්‍ය තරම් ආවේග මුදා නොහැර කවියට පිරිමහින සංයත හඬක් මතු කිරීමට දරන වෑයම ප්‍රශංසනී ය. 88/89 යුගය මෙන් ම ඉන් ඉක්බිති එළඹුණු උතුරු නැගෙන හිර ප්‍රදේශවල ඇවිල ගිය සටන්වලදී මිය ගිය මිනිසුන් වෙත මිනිස් ඇසකින් බැලීමට හුරු කිරීම මේ මොහොතේ වැඩිහිටි ශ්‍රී ලාංකිකයින් අනාගත පරපුරට දායාද කළ යුතු දෙයකි. මතු දැක්වෙන්නේ තරංගනී ගේ උක්ත කවියෙන් උපුටාගත් කොටසකි .

'කල්වරි පාමුල ඉතිනේ 
මව් මරි ළය සෝ දුකිනේ 
ඇවිලුණු ගිනි දලු ලමිනේ 
දැවුණි ද මා හද පුතුනේ ...

දහසක් මව් ඇස කඳුළා 
පිසිනුව තමදිවි හකුලා 
පුද කළ මපුතුන් විපුලා 
මට රන් කඳෙකිය උදුලා '

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ විසල් බව අල්ලා ගැනීමට තරංගනී නොවක් උත්සහයක් ගන්නා අයුරුද ඇතැම් තැනෙක අපට හමුවේ. 'පැටලී හිඳිමි' යන හිසින් යුතු ඇයගේ කවිය මතුදැක් වෙන පරිදිය .

බිඳිනු නො රිසිය 
විසිතුරුය 
එතරම්ම් ම 
ඔබ වියූ මේ දැල

සිඳි යන්නට 
පණ නල එහි ම 
ඉඩ හරිමි 
නිසල වෙමි

ගොදුරු කර ගන්නෙ ද 
දැදුරු හද 
මැදුරු කර ගන්න ද 
ගොදුරු බිම '

‘රත්‍රිය මෙතරම් දිගු මන්ද' හිසින් යුතු රචනයේ දී තරංගනී අපට මුණගස්වන, ප්‍රේමය නොලද ගැහැනිය වෙත අපගේ සාවධාන අව ධානය යොමුවන්නේ නෙත රැඳි කඳුළක්ද සමගය. එහි එක් තැනෙක එන මතු දැක්වෙන කොටස බෙහෙවින් සිත රිදවන සුලුය .

උණුහුමක් නොහඳුනන සීත ඇතිරිලි වුවද 
රාතිය මෙතරම් ම දිගු මන්ද අසන්නෙද 

'
ගජමන්නෝනාගේ ආදර තරවටුව' නම් කවියේදි තරංගනි බාවික ගුණ ඇසුරු කරන බසක් කවියට යොදා ගැනීමට සමත් වෙයි. සංවාදයක ස්වරූපයෙන් ගොඩ නැඟෙන මේ කවියේදී කිවිඳියගේ මුවට නංවන මතු දැක්වෙන වදන් ඉතා සිත් ගන්නා සුළුය .

'සසරෙම දුක අරන් කැටි කොට එක මිටින 
සුසුමින් පරදු  තැබු තුන් යම සඳ පහන 
කවිකම් හිතක උණුහුම හොයමින් තැවෙන 
කවියක කදුළු තවරනු ඇයි මේලෙසින '

තරංගනී ගේ කාව්‍ය සංග්‍රහය අවසන්වන්නේ 'හදවතම සුවිසල් අහසකි‘ යන හිසින් යුතු කවියකිනි. හදවත ම සුවිසල් අහසක් කරගත් විට ඒ අහසේ රමණීය දෙදුණු මෙන් ම මහ ගිගුරුම ද මතු දවසක අපට දකින්නට අසන්නට ලැබෙනු ඇත. 2015 වසරේ පළ වූ මේ කවි මට කියවන්නට ලැබුනේ ඉතා මෑතකය. කවි පොතක් කිය වූ පසු සහෘදයන් සමග බෙදා හදා ගන්නට දරන වෑයම පමා වූයේ එහෙයිනි.

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවි සොහොයුරා 
2017.07.25 මූණුපොතේ තැබූ සටහනකි. 


Wednesday, June 14, 2017

සුද්දිලාගේ කතාව ‘‘28‘‘

චිත්‍රපටයේ කැඩුණු මිනී පෙට්ටි පියන අතරින් බලා ඉන්නා සුද්දී
සේමිණී ඉද්දමල්ගොඩ

ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක... ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද යන පැනය මතු වෙනවා. මායම් සංවාදය අතරතුර තමයි මේ පණිවිඩය ලැබෙන්නෙ.

‘‘අන්න අරකිව මරල දාලා. මිනිය කොළඹ මහ ඉස්පිරිතාලෙලු. අඳුනගන්න උඹට එන්න කියනවා...‘‘

ගැහැනු මායම් ගැන සිනාබර සංවාදයක අතරතුර ලැබෙන ගැහැනියකගේ මරණය පිළිබඳ මේ පණිවිඩය මා තුළ දැනවූයෙ කම්පනීය හැඟීමක්...

ඔව්, මම මේ ලියමින් ඉන්නෙ 28 චිත්‍රපටය ගැන...


පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ හුදකලා වුණ, අවතැන් වුණ, අසරණ වුණ පුරුෂ ලෝකය ස්ත්‍රීය මත පටවන පීඩනය එක් පැත්තකිනුත්, සංස්කෘතිය සදාචාරය කරපින්නාගත්  අවිචාරවත් සමාජය ගැහැනියගේ පැවැත්ම අර්බුදයට යවන ආකාරය තවත් පැත්තකිනුත් සංවේදීව කතා කරන චිත්‍රපටයක් විදියටයි මට 28 දැනෙන්නෙ.

‘‘සුද්දිට අගෞරවයක් වෙන්න දෙන්න බෑ‘‘ ඇගේ නීත්‍යනුකූල සැමියා, පතල් කනින්නා, නූගත් මිනිසා අබසිරි වරින් වර මේ කතාව කියනවා. සමස්ත ගැහැනියට නිසි ආදරය, ගෞරවය ලැබිය යුතු බව නොවේද මේ කියැවෙන්නේ. අයිස්ක්‍රීම් වෑන් රථයේ සුද්දීගේ දේහය රැගෙන යන ගමන පුරාමත්, ඇගේ දේහය නිවසේ තැන්පත් කළ පසුවත් අබසිරි සුද්දී ගැන දක්වන්නෙ ගෞරවය මුසු වූ ආදරයක් බව දැනෙනවා. නමුත් මේ ආදරය ඇගේ රුව නිසා හටගත් ඇල්මක්ද? ඔහු ඇගේ හදවත හැඳින ගත්තාද? හැඳින ගත්තා නම් නිවස අතහැර අර දුර්ග මාවත දිගේ ඇයට නගරයටත්, ඉන් එපිට කොළඹටත් පිටමංවී යන්නට සිදුවෙනවාද?

මිය ගිය සුද්දිත් චිත්‍රපටය තුළ වරින් වර කතා කරනවා. ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල. කතාව ඇත්ත. විශේෂයෙන් ගැහැනියකට. ඇයට තීරණ ගන්න අයිතියක් නැහැ. ඇයට තමන්ගෙ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න හිමිකමක් නැහැ. අඩුම තරමේ නිදහසේ අඬන්නවත් ගැහැනියකට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.


සුද්දි වරෙක කියනවා මම අබසිරිට ආදරය කළේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මං වගේ ගෑනියෙක්ව බඳින්න ගත්ත තීරණය නිසා කියල. ඈ තුළ අබසිරි වෙනුවෙන් පැවති ආදරයේ වෙනසක් නොවුණත් ඇගේ රූපය ඇයට ගෞරවනීය සමාජ ජීවිතයකට ඉඩ නොදුන් බවයි කියවෙන්නෙ. පව්කාර ගැහැනියට ගල් ගහන්නම බලන් ඉන්න සමාජයක්. අබසිරි ඈ වෙනුවෙන් පෙනී සිටියා නම් සුද්දීට මෙවන් ඉරණමක් අත් නොවන්නටත් ඉඩතිබුණා. කොහොම වුණත්  මරණයෙන් පසු හමුවන ඇයගේ අත්බෑගයේ තවමත් ඔවුන්ගේ මගුල් පින්තූරය තියෙනවා.

සුද්දීගේ දේහය කොළඹ සිට ඇලහැර දක්වා ගෙන යන්නට සොයා ගන්නේ අයිස් ක්‍රීම් වෑන් රථයක්. හිම කිරමක මිහිර, සිහිල එක්ක දූෂණයට ලක් වී  මරා දැමුණු ගැහැනියකගේ නිසල දේහය සමපාත වෙන්නෙ කොහොමද? එතැන තියෙන්නෙ ගැඹුරු සංකේතීය අරුතක්. වෙළඳ ලෝකය තුළ අලවි කරන සුකුමාර ගැහැනිය සහ සැබෑ ගැහැනිය අතර පවතින පරස්පරය වගේ. 

ලිංගිකත්වය ගැන සාධනීය කතිකාවක් මතුකරන්න දරන වෑයමත් අගය කරන්න ඕන. සුද්දී වරෙක කියනවා 9 වසරේ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඈ කොයිතරම් කැමැත්තෙන් උන්නද කියල. ඒත් 38 වියැතිව දූෂණයට ලක් වී මරා දැමෙන තුරුත් ඇය ඒ පාඩම ඉගෙන ගෙන නැහැ. ප්‍රේමයේ අනුරාගයේ සැබෑ ප්‍රහර්ශය අපේ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන ගැටලුවත් සංවාද අවකාශයට අතෑරල තියෙනවා. එක් අතකින් සුද්දි ගමෙන් පිටවෙන්නෙ තමන් කිසිදාක අත්පත් කර නොගත් ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පිළිබඳ සාංකාවත් එක්ක. නමුත් කිසිදාක ඇයට ඒ අසිරිය හමුවන්නෙ නැහැ. ඒ වෙනුවට ඈ තවත් පාරට ඇද වැටුණු, අතින් අත යන ගැහැනියක් බවට පත්වෙනවා. මෙතනදි පාවුලෝගෙ මිනිත්තු එකොලහ නවකතාවේ මරියා සිහිපත් වෙනවා. මරියා දිනාගත් ප්‍රේමයේ ප්‍රහර්ශය සුද්දිට හැමදාමත් සිහිනයක්ම විතරයි.

චිත්‍රපටය දිග හැරෙන්නෙ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන්. කෙනෙකුට කම්මැලි හිතෙන්න පුළුවනි. නමුත් රූප රාමුවෙන් රාමුවට ඇහි පිල්ලමක පවා අර්ථ හොයන්න හදන මං වගේ ප්‍රේක්ෂිකාවකට නම් හිතන්න කාරණා ගොඩක් හමුවෙනවා. ඉහත ලියැවුණේ ඉන් අල්පයක්....

මම 28 ට කැමතියි.


චිත්‍රපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.




Monday, June 12, 2017

සුළු ඉඩක් වෙන් කර දිය හැකි නම් පමණක් ඔබ අසල...

"VLADIMIR VOLEGOV. ගේ සිතුවමක් - 

මේ තණ නිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති...

තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළා දළු පත් සසලවා
සුසුම් ලන නළ රැලි

එදත් මේ ලෙසම සසැළුණිද?
ජීවිතය අයදින සරින්,

වැව් දිය සරැලි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?

ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත,
මම ද ඒ එදා උන් මා නොවේ

කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී..

කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?

එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්

ඔබ අසල... 

Sunday, June 4, 2017

ප්‍රේමයේ නන් පැහැ...!!!





පොසොන් සඳ බැතිබරව
ළයෙහි අත තබාගෙන
කල්වාරි කන්ද මත නවතී
ඔරසමක මුදු සරින්
මිදෙන්නට බැරි සිහින
ගැළවුමෙහි හද මඩල නමදී
අතින් අත පටලාන
පසන් ගී ස්වර මැදින්
පෙදෙන් පෙද ජිවිතය පබඳී
ළතෙත් ගුණයෙන් නිලන
ඉතින් ඒ ආදරය
සංසාරෙ ඇති තුරා පවතී

ස්නේහයේ පැහැ විසුළ
ඇන්තූරියම් පොකුර
අත දැරූ හීන්දැරි යුවතී
මුහුලසේ ලැඟුම්ගෙන
මඳහසට හිස නමන
සුදු සිලිටි ඉද්ද මල් දමෙකී
ස්වර්ගයෙන් ලැබිලාද
මේ සොඳුරු වේල්පට
සැහැල්ලුවෙ පතුළෙහිම කිමිදී
සන්සුන්ව වර නඟන
පැහැසර කැල්ම ළඟ
සංවේග සන්තාප පරදී

යවුවනය නිනද වන
ඔය නිමල ඇස් අතර
සනාතන යවුවනය දකිමී
අකුරු බොඳ වී නොගිය
ස්වර්ගීය ගිවිසුමෙක
සොඳුරුතම දෙපොළ බව හඟිමී
සාංසාර කැඳවුමෙක
අවිහිංසක ම ඉමෙක
අසෙනිය කුසුම් පොකුරු ඉසිමී
ගැඹුරුතර ජීවිතය
සරල බව මෙ තරම්ම
කියාදුන් පෙමට හිස නමමී


පොසොන් මස 4 වැනිදා, 2017
මංජුල වෙඩිවර්ධන


අම්මගෙයි තාත්තගෙයි විවාහ සංවත්සරය අද... හතළිස් වසක යුග දිවි ගමන සුවපහසු රෝස මල් යහනාවක් නොවූ බව මම හොඳින්ම දන්නවා... ඒ සියලු බාධක, අභියෝග, ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණදෙමින් මේ දක්වා ආ ගමන ගැන මට තියෙන්නෙ අප්‍රමාණ ආදරයක්, ගෞරවයක්. අම්මටයි, තාත්තාටයි මංජුල අයියාගෙන් ලැබුණු තිළිිණය තමයි මේ කවිය...

.........

අද කසුන්, සත්‍යා ගේ විවාහ මංගල උත්සවයේ දෙවෙනි දවස. හරියට බ්ලොග් මංගල්ලයක් වගේ... බ්ලොග් හිතවතුන් සෑහෙන පිරිසක් අද අපි මතුගම ගිහින් අහසෙන් එන දෙපළගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක සතුට බෙදා හදාගත්තා. ඒ ගැනත් ලියන්න දේවල් අපමණයි. පසුව ලියන්නම්.



Thursday, June 1, 2017

කසුන්මය සත්‍යය නිමැවූ ප්‍රේමය...


මට ඈ මුල්වරට හමුවන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙදි. ශ්‍රවණ පොත් සැකසීමේ කටයුත්තකට පොත් කියවීම සඳහා යොදාගත් හමුවක් එය. මගේ දුරකථන ඇමතුම අනුව මා එහි යන විට ඈ ගේට්ටුව අසලම බලා සිටියා... ඇගේ සිනහව මඟ බලා සිටියා. ඇගේ වත මඬල දැල්වෙමින් තිබුණා. ඒ මා දෑසින් ඈ දුටු පළමු දවස. ඒත් ඇය නම් මාව බොහෝ වර දකින්නට ඇති හදවතින්.

ඉතින් ඒ අපේ අහසෙන් එන සත්‍යා.... ලොකු හදවතක් ඇති පුංචි කෙල්ල සත්‍යා නිර්මාණී...


සුදු සැරයටිය අත නැතිව උන් ඈ මගේ අත අල්ලාගෙන ඉතාම හුරුබුහුටිව මා ඇගේ කුටියට කැඳවාගෙන ගියා. දොරටුව ඉදිරිපස පාවහන් ගළවා තබා කුටිය තුළට වන් සත්‍යා පුටුවක් ඇද මට වාඩිවන්නට සලස්වා ඇය ඇඳෙන් වාඩි ගත්තා. එදා දවස පුරාම අපි පොත් කියවීමට වඩා කළේ අපේ කියවීම... එදිනෙදා වැඩකටයුතු කිරීමේදී, පරිගණකය හැසිරවීමේදී වගේම කතා බහේදිත් ඇය දක්වන දක්ෂතාව, හුරුබුහුටිබව අත් දහසක්, නෙත් සහසක් පරදන තරම්...



නෙළුම් යාය බ්ලොග් මංගල්ලෙ ඉවර වෙලා ටික දවසකින් මට ඇමතුමක් එනවා. ඒ සත්‍යාගෙන්.

‘‘අක්කෙ ඔන්න අපේ වෙඩින් එක එනවා. ජුනි 04 වෙනිදා දිනය වෙන් කරල තියාගන්න. ඔයා එන්නම ඕන...‘‘

ඉතින් අපේ ඒ සත්‍යා අද දවසේ මනාලියක් වෙනවා...

මේ පෙම් හුටපටය ගැන ඉඟි බිඟි දැනිල තිබුණ වුණත් මම ටක්කෙටම දැනගත්තෙ එදා නේවාසිකාගාරයෙදි ඈ හමුවුණ දවසේ. අපේ හදවත් බැඳෙන්නෙ මුලින්ම දකින දසුනත් එක්ක ඇතිවෙන ආකර්ෂණයට. ඊට වඩා මේ ප්‍රේමය ගොඩක් ගැඹුරු වෙන්න ඕන අනිවාර්යයෙන්ම රුව දකින්නට ඉඩක් නැති හදවත් ස්පර්ශ වන බැඳුමක්නෙ.

‘‘ආදරය කොහොමද?‘‘ මම සත්‍යාගෙන් ඇහුවා.

‘‘සුන්දරයි නේද?‘‘ ඈ පෙරළා මගෙන් ප්‍රශ්න කරනවා. සිලි සිලි සිනාවක් එක්ක.. ‘‘ප්‍රේමණීයයි.‘‘ ඇය නැවතත් උත්තර දෙනවා.

‘‘නංගි කොහොමද ඔයාට කසුන් මල්ලිව හමුවුණේ..?‘‘

‘‘මම 2005 රත්මලානෙ අන්ධ විද්‍යාලයට ආවා. එතනදි තමයි කසුන් අයියව මුණගැහෙන්නෙ. දැන අඳුනගත්ත දා ඉඳලම අපි හොඳ යාළුවෝ...‘‘


‘‘ඉතින් කොහොමද ඒ යාළුකම ආදර සම්බන්ධයක් වුණේ?‘‘

‘‘2011 උසස් පෙළ ලියල ඉවර වෙලා මම අයිටී කෝස් එකක් කළා. ජපුර කැම්පස් එක ළඟ තමයි නැවතිලා හිටියෙ. මගෙ හැම වැඩකටම උදව් කළේ එයා, මගේ ආරක්ෂකයා, සහායකයා, මඟපෙන්වන්නා. ඔක්කොම එයා තමයි...

කසුන් අයිය මට කිව්වා, මගෙ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියල. මටත් දැනිල තිබුණෙ. අපි ගොඩක් කල් ඉඳන් දන්නවනේ. ඉතින් මට ආපහු හිතන්න දෙයක් තිබුණෙ නෑ.. ‘‘

‘‘එයා ඔයාට ගැළපෙනවා කියල තීරණය කළේ කොහොමද?‘‘

‘‘කසුන් අයියා ගොඩක් හොඳයි. මාව තේරුම් ගත්ත කෙනෙක්. අයියට ටිකක් පේනවා. මට පේන්නෙම නැහැනෙ. මොන දේ කරන්න ගියත් එයා මුලින්ම හිතන්නෙ මං ගැන. මගේ හැම වැඩකටම උදව් වෙනවා. මගෙ ඉගෙනීම් වැඩවලටත් උපදෙස් දෙනවා. නීති රීති දාන්නෙ නැහැ. මං වැරැද්දක් කරනවනම් ඒ ගැන කියල දෙනවා. අනිත් ආදරවන්තයො අතර තියෙන සැකය, අවිශ්වාසය වගේ දේවල් අපි අතර නැහැ.

පුරුෂාධිපත්‍යය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. නොදන්න දෙයක් තියෙනවනම් මගෙනුත් අහනවා. දෙයක් කරන්න කළින් මටත් කියනවා. මගේ සතුට වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නෙ. දැන් අර ප්‍රී ෂූට් එක අයිය කැමති වුණේම නැහැ. ඒත් මං ආස නිසයි  කැමති වුණේ. ඔක්කොම වැඩ ඉවර වෙලා මගෙන් අහනවා.. ‘ඔබට සතුටුයිද දැන්...‘ කියල..‘‘

ඇය හිනැහේ... මම ටිකක් බරපතල ප්‍රශ්නයක් ඈ හමුවේ තැබුවා.

‘‘ආදරය කරන කාලය වගෙ නෙවෙයි විවාහය. සංකීර්ණ බැඳීමක්. ඒ ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?‘‘

‘‘ඒකත් අලුත් අත්දැකීමක් වෙයි. අපි දෙන්නා ඒ ගැනත් සැලසුම් කරල තියෙන්නෙ. ඇනෙක්ස් එකක් ගනිද්දි වුණත් අයිය බැලුවෙ මගේ පහසුව. එයා මං ගැන හිතලයි හැම වැඩක්ම සැලසුම් කරන්නෙ. ඒ නිසා විවාහ ජීවිතේ ගැන මට බයක් දැනෙන්නෙ නැහැ.‘‘

ඉතින්,


ආදරණීය කසුන් මල්ලී, සත්‍යා නංගී මේ ආදරය, විශ්වාසය, තේරුම්ගැනීම හැමදාමත් ඔබ අතර පවතීවා!!! සුබ මංගලම් !!!